“ධූරන්ධර්” මහජන සෞඛ්‍යයට කරනු ලබන තර්ජනය!

ඉන්දීය සිනමාවට ආදරය කරන ලොව පුරා රසික පිරිස් මේ වන විට “ධූරන්ධර්” චිත්‍රපටි දෙක මඟින් ඉන්දිය සිනමා කර්මාන්තයට සිදුකර ඇති පෙරළිය පිළිබඳව හොඳින් දැනුවත්ය. එය ඉන්දීය වාණිජ සිනමාවේ අතිශය සාර්ථක නිර්මාණයක් බවට පත්වෙමින් බොක්ස්ඔෆීස් (Box office) වාර්තා රැසක් බිඳදමා තිබේ. එයට අමතරව එහි අන්තර්ගතය, තේමාව, රංගන ප්‍රතිභාවන් ගැන විවිධ විචාරක මතවාද ඉදිරිපත් වී ඇත. වාණිජ සිනමාවේ බොහෝ විචාරකයන්ගේ අදහස අනුව මෙම චිත්‍රපට ද්විත්වය සෑම අතින්ම සාර්ථක නිර්මාණයක් ලෙස සැලකේ.

ඉතා කෙටි කාල පරාසයක් තුළ “ධූරන්ධර්” පළමු හා දෙවන චිත්‍රපට දෙකම තිරගත වීම මෙහි විශේෂත්වයකි. 2025 දෙසැම්බර් මාසයේ පළමු චිත්‍රපටය තිරගත වූ අතර, මාස හතරකට පසුව 2026 මාර්තු මාසයේදී එහි දෙවැන්න “Dhurandhar The Revenge” ලෙස නිකුත් විය. වාර්තා අනුව, මෙම චිත්‍රපට ද්විත්වය ඉන්දීය රුපියල් බිලියන 32 කට අධික ආදායමක් උපයා ඇත. මෙවැනි සාර්ථකත්වයක් ලැබී ඇත්තේ මැදපෙරදිග කලාපයේ තිරගත කිරීම් සීමා වී තිබූ පසුබිමක වීමද විශේෂ කරුණකි.

මෙහි මුල් චිත්‍රපටය විකාශය වීමෙන් පසු එහි ඇති එක් අන්තර්ගතයක් සම්බන්ධයෙන් තරමක් ගැඹුරින් අධ්‍යනය කොට විමසීමක් කිරීමට අප කටයුතු කරන ලදි. චිත්‍රපටය නැරඹූ පිරිසට එහි ඇති ප්‍රචණ්ඩ ක්‍රියා, ඝාතන දර්ශන සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මතකයේ තිබිය හැකිය. එමෙන්ම, දුම්පානය, මද්‍යසාර භාවිතය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ දර්ශන ද විශේෂ ප්‍රමාණයකින් ඇතුළත් කර තිබුණි. එම නිසා, මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ චිත්‍රපටයේ සිනමාත්මක සාර්ථකත්වයට නොව, මහජන සෞඛ්‍යයට බලපෑම් කළ හැකි අන්තර්ගතයකටය.

අපගේ නිරීක්ෂණ අනුව, චිත්‍රපට දෙකේ සමස්ත ධාවන කාලයෙන් 10% සිට 12% දක්වා ප්‍රමාණයක් දුම්පානය සහිත දර්ශන සඳහා වෙන් කර ඇත. එනම්, පළමු චිත්‍රපටයේ විනාඩි 18 ක් පමණ සහ දෙවන චිත්‍රපටයේ විනාඩි 27 ක් පමණ සිගරට්, සුරුට්ටු සහ සිගාර් භාවිතය නිරූපණය කිරීම සඳහා යොදාගෙන තිබේ.

සිනමා නිර්මාණ තුළ මෙවැනි දර්ශන ඇතුළත් වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා බැලිය හැකි වුවද, “ධූරන්ධර්” චිත්‍රපටවල එවැනි දර්ශන සඳහා ලබාදී ඇති ඉඩ ප්‍රමාණය අසාමාන්‍ය බව කාල විශ්ලේෂණයේදී දැකගත හැකිය.

මෙම නිර්මාණ දෙක තුළ දුම්පානය සහිත දර්ශන 100කට ආසන්න සංඛ්‍යාවක් අඩංගු වන අතර, සමහර අවස්ථාවල දුම්පානය ආකර්ෂණීය, අලංකාර සහ වීරත්වයේ සංකේතයක් ලෙස නිරූපණය කර ඇත. තවත් අවස්ථාවල එය සාමාන්‍ය ජීවන රටාවේ කොටසක් ලෙස ඉදිරිපත් කර තිබේ. දුම්පානය සහ මද්‍යසාර දර්ශන එකට සලකා බැලූ විට, ඒ සඳහා වෙන්කර ඇති කාලය චිත්‍රපටවල සමස්ත ධාවන කාලයෙන් 15% ඉක්මවයි.

“ධූරන්ධර්” චිත්‍රපට ද්විත්වයේ මෙතරම් විශාල ප්‍රමාණයකින් දුම්පානය නිරූපණය කිරීම හුදෙක් සිනමාත්මක තේරීමක්ද, නැතහොත් වාණිජමය හේතු සහිත ප්‍රවේශයක්ද යන්න පිළිබඳ විමර්ශනය සිනමා විචාරකයන් සහ පර්යේෂකයන් වෙත භාර කරමු.

ඉතිහාසයේ දුම්කොළ සමාගම් සහ සිනමා කර්මාන්තය අතර සම්බන්ධතා පිළිබඳ හෙළිවූ අවස්ථා කිහිපයක් ද ඇත.

– 1989 දී තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ “License To Kill” නම් ච්ත්‍රපටය සඳහා $350,000ක මුදලක් සිගරට් සමාගමෙන් ගෙවා ඇත්තේ Lark නම් සිගරට් එම චිත්‍රපටයේ ප්‍රචාරය කිරීම සඳහා බව වාර්තා වී ඇත.

–  Browns & Williamson නම් දුම්කොළ සමාගමෙන් සිල්වෙස්ටර් ස්ටැලෝන් හට ඔවු රංගනයේ යෙදෙන චිත්‍රපට 05 ක දුම්පානය සිදුකරන දර්ශන ඇතුලත් කිරීම සඳහා $500,000ක මුදලක් ලබා  දී ඇති බව ආයතනික වාර්තා උපුටා දක්වමින් හෙළිකර තිබේ.

–  Superman II චිත්‍රපටය සඳහා $43,000 ගෙවා දුම්කොළ වෙළඳ නාමයක් ප්‍රදර්ශණය කරගැනීම සිදුකොට ඇති බවට සාක්ෂි ඇති අතර  Supergirl නම් චිත්‍රපටයේ එවන් නිෂ්පාදන නාමයක් ප්‍රදර්ශණයට $30,000ක මුදලක් ලබා  දී ඇති බව කියවේ.

දුම්පානය ලෝක මහජන සෞඛ්‍යයට ඇති බරපතලතම අවදානම් අතරින් එකකි. දුම්කොළ භාවිතය නිසා ඇතිවන හානිය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර සමඟ උපායමාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

විශේෂයෙන් දකුණු ආසියානු කලාපය දුම්කොළ භාවිතයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති බැවින්, සිගරට් සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන ප්‍රවර්ධනය වළක්වා ගැනීම සඳහා සියලු ක්ෂේත්‍ර අවම වශයෙන් හෝ දායකත්වයක් ලබාදිය යුතු බව අපගේ අදහසයි.

සිනමාව විනෝදාස්වාද මාධ්‍යයක් පමණක් නොව, ආකල්ප, හැසිරීම් සහ සමාජ සංස්කෘතික රටාවන් නිර්මාණය කරන බලවත් සන්නිවේදන මාධ්‍යයකි. එබැවින් එහි අන්තර්ගතය මහජන සෞඛ්‍යය සමඟ සම්බන්ධ කර සලකා බැලීම ද වැදගත් වේ.